Wednesday, 20 February 2019

සමලිංගිකත්වය

සමලිංගිකත්වය 



සමලිංගිකත්වය යනු සමාන ලිංග ඇති පුද්ගලයන් අතර ඇතිවන ප්‍රේමණීය ආකර්ෂණය යි . ලිංගිකත්වය සමලිංගිකත්වය, විෂම ලිංගිකත්වය හා ලිංගිකත්වය යනුවෙන් ප්‍රධාන දිශානතීන් තුනක් යටතේ හඳුනා ගත හැකිය.  ඒ අතරින්  සම ලිංගිකත්වය නැවත ප්‍රධාන ප්‍රභේද කිහිපයකට බෙදා දැක්විය හැකිය. එය සරල ව LGBTQ යනුවෙන් හැඳින්වේ.එමගින් සංකේතවත් වන්නේ,
L=lesbians (කාන්තාවන් හා කාන්තාවන් අතර සබඳතා )
G=gay (පිරිමින් හා පිරිමින් අතර සබඳතා )
B=bi sexual ( දෙපාර්ශවයම සමග සබඳතා පැවැත්වීම)
T=trans gender (සංක්‍රාන්ති ලිංගිකයන්)
Q=Queer/questioning (ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නකාරී ව සිතීම )

මේ ආකාරයට යම් පුද්ගලයකුගේ ලිංගිකත්වය තීරණය වීමට   ජානමය , හොමෝනමය මෙන්ම පාරිසරික හේතු ද බලපානු ලැබේ. නමුත් මෙම ලිංගික දිශානතිය තීරණය කිරීම සඳහා දෙමාපියන් හො  පූර්ව ළමා අත්දැකීම් සැලකිය යුතු බලපෑමක් සිදු නොකරයි. මේ ආකාරයට සමලිංගිකත්වය යනු යනු අස්වාභාවික හෝ විකෘතිමය තත්ත්වයක් නොවන අතර එය තවත් එක්  ලිංගික විචලනයක්  පමණි .

මිනිසුන් ශිෂ්ඨාචාර ගත වීමට පෙර සිටම  සම ලිංගික සබඳතාවන් පවත්වා ඇත.  ශිෂ්ඨාචාරගත වී නීත්‍යානුකූල විවාහ සම්ප්‍රදායක් ඇති වු  පසුව  මෙම සබඳතා තරමක් දුරස්ථ වූ නමුත්, ලිංගික ආවේගයන් පිට කර ගැනීමේ විකල්ප ක්‍රමයක් ලෙස මෙය තවදුරටත් භාවිතා කරයි . එය වර්තමානයට පවා අදාළය. විරුද්ධ ලිංගික චර්යා හරහා තම ආශාවන් තෘප්ත කර ගැනීමට නොහැකි වූ විට ඔවුන් මෙය  තමාගේ   පීඩනය පිට කර ගැනීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසද යොදා ගනී.  මෙය සත්ත්ව ලෝකය තුළ පවා දැකගත හැකිය.

පළමුවරට සමලිංගික යුවලක් හමුවී ඇත්තේ හමුවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 2400 දී  පමණ ඊජිප්තුවෙනි. එරට ලෙසතෝ ගෝත්‍රික කාන්තාවන් අතර ද අසාන්දේ ගෝත්‍රික පිරිමින් අතර ද  සමලිංගික සබඳතා පැවැති පැවති බවට සාක්ෂි හමු වී ඇත . එසේම නවර  ගෝත්‍රික සමාජය තුල සමලිංගික විවාහයන් පවා සිදුකර ඇත.
ඇමෙරිකාවේ මායා,  ඇස්ටෙක් වැනි  ගෝත්‍රික සමාජය  තුළද මෙවැනි ලිංගික සබඳතා පැවති   බවට මානව විද්‍යාඥයන් විසින් කරුණු  ගෙනහැර දක්වයි. යුරෝපීය  අධිරාජ්‍යවාදීන් විසින් එලෙස ස්වදේශික ඇමරිකානු ජනතාව සමලිංගික  සේවනයේ දීමට එරෙහිව මරණීය දණ්ඩනය  පවා ලබාදීමට කටයුතු කර ඇත. යුරෝපය තුල සමලිංගිකත්වය නීතියෙන් වරදක් ලෙස පිළිගත් නමුත් 2003 දී එම තහනම ඉවත් කරන ලදී. වර්තමානය වන විට වනවිට බ්‍රිතාන්‍යය තුළ  සමලිංගික විවාහ සඳහා නීතිමය අවසරය ද හිමි වී ඇත.
චීන සාහිත්‍ය ග්‍රන්ථ තුළ  පුරුෂයන් අතර පැවති සමාජ සබඳතා පිළිබඳව දැක්වෙන අතර මේ නිසාම චීනය තුළ ද  සමලිංගික සබඳතා පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව සමලිංගික චර්යා වල නිරතවීම  දඩුවම් ලැබිය හැකි වරදකි. මෙරට තවමත් ක්‍රියාත්මක  බ්‍රිතාන්‍යයන් විසින් 1886 දී සම්පාදනය කරන ලද  දණ්ඩ නීති සංග්‍රහයයි. එහි සඳහන්365 හා  365(අ) වගන්තිය අනුව ප්‍රසිද්ධ ස්ථානයක සමලිංගික  සබඳතා පවත්වන්නේ නම් වසර දෙකක සිර දඬුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ.බාලවයස්කරුවකු හා සබඳතා පවත්වන්නේ නම් වසර දහයක් සහ විස්සක් අතර කාලයක සිරදඬුවමකට යටත් වේ. එසේම අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට ද සිදුවෙයි.මෙරට සමලිංගිකයන්ට පවතින්නේ එතරම්ම හොඳ වටපිටාවක් නොවේ. එවැනි පුද්ගලයන්ට එරෙහිව නොයෙකුත් කායික මානසික හිංසනයන් ක්‍රියාත්මක වේ .

 නමුත් සමලිංගිකත්වය යනු විකෘතියක් හෝ අස්වාභාවික දෙයක් නොවන බව ද,  එය තවත් එක් ලිංගික දිශානතියක් පමණක් බවද  සිහි තබා ගත යුතුය.  ලිංගිකමය වශයෙන් ඔවුන් කුමන ප්‍රභේදයකට අයත්  වුවත් පොදුවේ ඔවුන් සියලු  දෙනාම මනුෂ්‍යයන්ය. මනුෂ්‍යයන්ට හිමිවිය   යුතු සියලු අයිතිවාසිකම් හා වරප්‍රසාද නොඅඩුව ඔවුනට ද හිමිවිය යුතුය .


Thursday, 14 February 2019

පලස්තීන අර්බූදය

           පලස්තීන අර්බුදය

 මෙම  අර්බුදය ඇතිවීමට ප්‍රධාන  හේතුව  වූයේ පලස්තීන රාජ්‍යය තුළ යුදෙව්වන් පදිංචි කිරීමට  බ්‍රිතාන්‍යය  ගන්නා ලද  උත්සාහයයි .ඒ අනුව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් , ආතර් බැල්පර් විසින්  පලස්තීනයේ  බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ  රොකස්චයිල්ඩ් සාමි වෙත  ලිපියක් යවමින් කියා සිටියේ, පලස්තීනය  තුළ යුදෙව්වන් සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවයි.  එසේම එයට බ්‍රිතාන්‍යයේ පූර්ණ අනුග්‍රහය හිමි වෙන බවත් ය. මේ සුප්‍රකට බැල්ෆර් ප්‍රකාශය නම් වේ. ඒ ආකාරයට යුදෙව්වන් පලස්තීනය තුල පදිංචි කරවීම හරහා පලස්තීන ජනතාවට කිසිදු හිරිහැරයක් නොවී ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවිය යුතු බවද තවදුරටත් දක්වා තිබුණි . ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පලස්තීන රාජ්‍යය පලස්තීනය හා ඊශ්‍රායලය යනුවෙන්  රාජ්‍යයන් දෙකකට බෙදා වෙන් කරන ලදී.   එසේම ජෙරුසෙලම අගනගරය ද  රටවල් දෙක අතර බෙදන ලදි.  අවසානයේදී  මේ තත්ත්වය්  අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර  1967 සහ 1971 දි එකී ගැටුම් අරභයා  ප්‍රධාන යුද්ධ  දෙකක් ද  ඇති විය.  වර්තමානය වන විට විට පවා  මේ අර්බුදය මුළුමනින්ම අවසන් වී නොමැත 

යුදෙව්වන් සඳහා වෙනම මව්බිමක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව මූලිකත්වය ගෙන ක්‍රියා කළහ.  එයට ප්‍රධාන හේතු වූයේ යුදෙව්වන්ට තමන්ගේම කියා මාතෘභූමියක්  නොමැති වීමයි. පළවෙනි ලෝක යුද්ධයෙ දී   ජර්මනිය තුල යුදෙව්වන් අතිබහුතරයක් ඝාතනය කළහ. තවත් පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීය. එලෙස බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවට සංක්‍රමණය වූ යුදෙව් ඡාතිකයන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් විය.  ඔවුන්ට එම රාජ්‍යයන්ට බලපෑම් කිරීමට ද  තමන්ගේ මූල්‍ය ශක්තිය මත හැකියාව පැවතුණි . මේ නිසා එවකට  බ්‍රිතාන්‍ය භාරකාරත්වය යටතේ පැවති පලස්තීනය තුල යුදෙව්වන් පදිංචි කරවීමට අවධානය යොමු විය .එලෙස මුල් වරට අවධානය යොමු වූයේ 1897 දී තියඩෝර් හර්සල්  කළ යෝජනාවකට අනුවයි  . 
මේ යෝජනාව පිළිබඳව පලස්තීන ජාතිකයින් තම විරුද්ධත්වය පළ කළ අතර තමන්ට ස්වයං පාලන අයිතිය  ලබා දෙන ලෙස බලපෑම් කලේය .දෙන්නේ විතානයට බලපෑම් කලේය.  එසේ ම එරට ට පැමිණෙන යුදෙව්වන් ආගමනය සීමා කරන ලෙසත් බ්‍රිතාන්‍යයට  බලපෑම් කළේය. යුදෙව්වන්ට ඉඩම් නොවිකුණන ලෙසට ද සෙසු අරාබි ජාතිකයින්ට යෝජනා කළේය. නමුත් ජර්මනිය හිට්ලර්ගේ කූර පාලනය හමුවේ දහස් ගණනක් යුදෙව්වන් පලස්තීනයට ඇදී ආහ.  එලෙස පැමිණි යුදෙව්වන්ට එරෙහිව 1937-1939 අතර කාලය තුල  අරාබි කැරැල්ලක් ඇති විය . ඒ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය විසින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පිල්  කොමිසමක් පත්කළ අතර, ඔවුන්ගේ නිර්දේශය වූයේ පලස්තීන දෙකඩ විය යුතු බවයි. මේ යෝජනාව පලස්තීනය  සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව නැවත වරක් බ්‍රිතාන්‍ය විසින් වටමේස  සාකච්ඡාවක් පවත්වා ධවල පත්‍රිකාවක් නිකුත්  කළේය. එමගින් පලස්තීනයට පැමිණෙන යුදෙව්වන්  වාර්ෂිකව 75000  සීමා කරන බව නිවේදනය කළේ ය. නමුත් මේ යෝජනාවෙන් ද   පලස්තීන සෑහීමකට පත් නො වී ය .
මේ අතරතුර යුදෙව්වන් විසින් තමන්ගේම  රාජ්‍යයක් දිනා ගැනීමට ඇමරිකාව හා සමීප ව කටයුතු කළේය. 1942 දී  ජාත්‍යන්තර යුදෙව් ඒජන්සිය ප්‍රධානීන්ගෙ යෝජනාවක් අනුව සියොන් වාදයේ මූලික ප්‍රතිපත්ති සකස් කරන ලදී.  බ්‍රිතාන්‍යන් මගින් තම අරමුණ ඉටු නොවීම නිසා යුදෙව්වන් එකතු වී  අන්තවාදී සංවිධානයක් බිහි කර ගත්තේ ය.  ඔවුන් බ්‍රිතාන්‍ය තුළ තුළ නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් තම අප්‍රසාදය පළ කළේය. අරාබි ජාතිකයින් අමනාප කර ගැනීමට තිබූ අකමැත්ත නිසාම බ්‍රිතාන්‍යයන් විසින් යුදෙව්වන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කළේය. පලස්තීනය තුළ ද යුදෙව්වන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් දරුණු අතට හැරුනි. ඒ අනුව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එකතු වී 1946 දී  කොමිෂමක් පත් කළේය . කොමිසමෙන් නිර්දේශ කළේ, වාර්ෂිකව යුදෙව්වන් 100000කට  පලස්තීනයට පැමිණීමට ඉඩ දිය යුතු බවය. එකී  යෝජනාවට ද  දෙපාර්ශවයම එකඟ නොවී ය.  ඒ අනුව නැවත වරක් 1946දී  බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එකතු වී එකතුවී Grady-mission  කොමිසම පත් කළේ ය. මෙමගින්  පලස්තීන තුළ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට යෝජනා විය. නමුත් මෙවරත්  දෙපාර්ශයම මෙම යෝජනාව ද ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව දෙපාර්ශවය විසින් තනි තනිව තම තමන්ගේ යෝජනාව ඉදිරිපත් කළේ ය. යුදෙව්වන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ම වෙන  රාජ්‍යයකි . පලස්තීනය  යෝජනා කලේ , එරට තුළ යුදෙව්වන්ට සුළු ජාතික රැකවරණය පමණක් ලබාදිය යුතු බවයි. නමුත් මෙම  යෝජනා  පිළිබඳව ද එකඟතාවයක් පත් නොවීය. 1947 දී  නැවත වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීත්වයෙන් කොමිසමක් පත්කළ අතර , එමගින් ඉදිරිපත් කළ යෝජනා  සම්බන්ධ දෙපාර්ශවයේම පොදු එකඟතාවයකට පැමිණීමට අපොහොසත් විය. ඒ අනුව කිසිදු එකඟතාවයකට පැමිණීමෙන් තොරව ම  1948 දී පලස්තීනය පිළිබඳ බ්‍රිතාන්‍ය අධිකාරිය අවසන් විය.
මේ පසුබිම තුල අරාබි ජාතිකයන් සහ යුදෙව්වන් අතර ගැටුම් ඇති වූ අතර යුදෙව්වන්ව අරාබියෙන් පළවා හරින ලදී.  නමුත් යුදෙව්වන් එකතු වී  ඊශ්‍රයාලය නමින් වෙනම  රාජ්‍යයක් ප්‍රකාශයට පත්  කළ අතර, ඇමරිකාව එදිනම එය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පිළිගත්තේ ය. ඉන්පසුව සෝවියට් සමූහාණ්ඩුව ආදී රාජ්‍ය ගණනාවක්  විසින් ද  ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීමෙන් පසුව ඊශ්‍රායලය  නෛතික රාජ්‍යයක් බවට පත් විය.
මෙමඟින් කෝපයට පත්වූ ඊජිප්තුව, ඉරානය සිරියාව, ලෙබනනය, ජෝර්දානය ආදී අරාබි රටවල් ඊශ්‍රාලයට එරෙහිව ආක්‍රමණ සිදු කළේය . මේ ගැටුම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවති අතර දෙපාර්ශවය අතර යුධ සමාදානයකට එළඹීමට හැකි විය.  නමුත් එලෙස පැමිණි එකඟතාවයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඒ වනවිටත් ඊශ්‍රාලය සතුව පැවතුණි.  මෙයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට උත්සාහ කළද  දෙපාර්ශ්වයම එකඟතාවකට  නොපැමිණීම නිසා එයද අසාර්ථක විය. අවසානයේදී   ජෙරුසුලම අගනගරය ද   දෙරට අතර බෙදුනු නගරයක් බවට පත් විය.  තවමත් මේ ප්‍රශ්නය මුළුමනින්ම අවසන් වී නොමැත.  කෙසේ හෝ අවසානයේදී මේ අර්බුදය මගින් සිදු වූයේ මව්බිමක් හිමිව තිබූ පලස්තීන ජාතිකයන්මව්බිමක්  අහිමි  සරණාගතයන් බවට පත් වීමයි. 




චිලී කෲර පාලකයා

     ඔගස්ටෝ පිනෝච් 


1973/9/11 දින චිලී රාජ්‍යයට අදුරුතම දිනයක් විය. 9/11 සිදුවීම ලෙස ප්‍රකට වූ මෙදින එතෙක් චිලී රාජ්‍ය බලය හෙබවූ ජනාධිපති සැල්වදෝර් අයන්දේ  බලයෙන් පහ කර ඔගස්ටෝ පිනෝච්  බලයට පත් විය. මෙහිදී ඔගස්ටෝ පිනෝචේ පාලනයට යටත් වීමට අකමැති වූ ජනපති සැල්වදෝර් වෙඩි තබාගෙන සියදිවි  නසා ගත්තේ ය. නමුත් එය සිය දිවි හානිකර ගැනීමක් ද නැතහොත් මරණයට පත් කිරීමක් ද යන්න පිළිබඳව ද ඇත්තේ දැඩි සැකයකි. මන්ද යත් ඔහුගේ මරණය පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීමයි. එනිසාම මෑතකාලීනව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සැල්වදෝර්ගේ  මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න යැයි නියෝග කර ඇත.
ඔගස්ටෝ පිනෝෂේගේ  මෙකී හමුදා කුමන්ත්‍රනයට ඇමරිකානු CIA සංවිධානයේ සහය ලැබී ඇති බවට හෙළි වී ඇත. එකල ඇමරිකන් ජනාධිපති වු රිචඩ් නික්සන්ගේ හා ඔහුගේ ආරක්ෂක උපදේශක හෙන්රි කිසින්ජර්ගේ සහයද ඔගස්ටෝ ගේ හමුදා කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීමට ලැබී ඇත.  ඇමරිකාවට අවශ්‍ය වූයේ එතෙක් පැවති සැල්වදෝර් ගේ  සමාජවාදී පාලනය පෙරලා දමා තමන්ට හිතවත් පාලකයෙකු පත් කර ඔහු යටතේ එරටට ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමය.
   ඒ අනුව හඳුන්වා දුන්  ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර දරිද්‍රතාවය ද වැඩි විය. පාන් රාත්තලක මිල එස්කුඩොස් 11 සිට 40 දක්වා වැඩි විය. එය  246% ක වර්ධනයකි. රටේ උද්ධමනය ඉහළ යාම නතර කර ගනු වස් ජනතාවගේ වැටුප් අඩු කරන්නට ද ක්‍රියා කළේය.  ප්‍රතිඔගස්ටෝ ගේ මෙම ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව අන්ත දරිද්‍රතාවයට පත්වීය. එරට ජනගහනයෙන් 85% ක්ම දිළිදුකමේ රේඛාවෙන් පහළ මට්ටමට වැටුනි.

ස්වභාවයෙන්ම  කෲර පාලකයෙකු වු ඔගස්ටෝ  තම විරුද්ධවාදීන් අත්අඩංගුවට ගෙන දරුණු වදහිංසාවන්ට පමුණුවන ලදී. එලෙස අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර ශිෂ්‍යයන් පූජකයින් ,විනිසුරුවරුන් ,මාධ්‍යවේදීන් මෙන්ම විදේශිකයන් ද සිටියේය. එලෙස  අත්අඩංගුවට ගන්නා ලද  70000 ක් පමණ වූ පිරිසෙන් 30000 ක් පමණ ඉතා දරුණු වධ හිංසාවලට ලක්කර ඇති අතර එයින්ද  3500ක් පමණ කෲර ලෙස මරා දමා ඇත. චිලී හි සුප්‍රකට ගායකයකු වූ වික්ටර් හාරා ද එලෙස මරණයට පත් වුවන් අතර වේ.
මොහුගේ දුර්දාන්ත පාලනය වසර 18 ක් පුරාවට පැවති අතර 1990 දී ප්‍රැට්රිකො ඇල්වින්  බලයට පත්විය.ඒ  පැවති ජනමත විචාරයෙන්  ඔගස්ටෝ පිනෝචේ පරාජයට පත්වීමෙන් පසුවයි. එහිදී ඔගස්ටෝ ගේ පාලනයට විරුද්ධව  56% ක ඡන්දයක් ඇල්වින්හට  හිමි විය.  නමුත් ඔහු තව දුරටත් හමුදාපති ලෙස 1998 දක්වා සේවය කළේය.
1998 දී ඔහු  ශල්‍යකර්මයක් සඳහා ලන්ඩන් නුවරට ගිය අතර එහිදී ඔහුව හිර අඩස්සියට ලක් කළේය .2002 දී ඔහුව නැවත වෛද්‍ය ප්‍රතිකාර උදෙසා නිදහස් කළ අතර එහිදී ඔහු පෙරළා මවුබිමට පැමිණියේය. 2002 දී මානව හිමිකම් උල්ලංඝණ  පිළිබඳ චිලී  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කළ අතර, ඒ නඩුව යන අතරතුර දී, එනම් 2006 දී ඔහු  හෘදයාබාධයකින් මරණයට පත් විය .අවසානයේදී ඔහු අධිකරණයෙන්  කිසිදු දඩුවමක්  නොලබා ම මරණයට පත්වීය.

වෙනිසියුලානු අර්බුදය

වෙනිසියුලානු අර්බුදය 


වෙනිසුලියාවේ අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී .වර්තමානය වන විට එය අභ්‍යන්තර අර්බුදයකට එහා ගොස් ගෝලීය ගැටලුවක් දක්වා වර්ධනය වෙමින් පවතී .එලෙස අර්බූදය උත්සන්න වීමට බටහිර රටවල ක්‍රියාකලාපය මූලික වශයෙන්  හේතු වි ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් නිකලස් මදුරො පාලනයට විරුද්ධත්වය පළ කරන විට , රුසියාව ප්‍රමුඛ සමාජවාදී රටවල් ඔහුගේ පාලනයට සහය පල කරයි.

මෙලෙස වෙනිසුලියාවේ අර්බූදයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වුයේ, මදුරෝගේ දෙවන වර බලයට පත්වීම බටහිර රාජ්‍යයන් විසින් නොපිළි ගැනීමයි. නිකලස් මදුරො ඉකුත් ජනවාරි 10 දින සිය දෙවැනි ධුර කාලය ආරම්භ කලේය. නමුත් එයට විරුද්ධ ව රට පුරා උද්ඝෝෂණ ආරම්භ විය .එරට විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කලේ මෙය   සාධාරණ මැතිවරණයක් නොවනා බවයි.ඒ මන්ද යත්  මැතිවරණය පැවැත්වුණේ විපක්ෂයේ අපේක්ෂකයන් ගණනාවක්  ම බන්ධනාගාර ගත කර තිබූ වාතාවරණයක් තුළය.එවැනි පසුබිමක් තුල  නිකලස් මදුරෝගේ  දෙවැනි ව බලයට පත්වීම නීත්‍යානුකූල නොවන බව ඇමරිකාව විසින්  ප්‍රකාශ කළ අතර මදුරො  නීත්‍යානුකූල පාලකයා බවට පිළිනොගන්නා  බව ද  නිවේදනය කළේය.ඒ අනුව ඇමරිකාව එරට  නීත්‍යානුකූල පාලකයා ලෙස පිළිගනු ලැබුවේ,  විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩොවය.  ගුඅයිඩො  විසින් තමන් එ රට තාවකාලික  ජනාධිපති බවට ප්‍රකාශයට පත්කළ අතර,  එයට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ,ප්‍රංශය , කැනඩාව ආදී බටහිර රටවල පූර්ණ සහයෝගය හිමිවිය.කරකස්  නුවර පැවති  ආණ්ඩු විරෝධී මහජන රැළියක් අතරතුරදී ගුඅයිඩො  විසින් මේ ආකාරයට ජනාධිපතිවරයා  ලෙස දිවුරුම් දී ඇත. ඉන්පසුව twitter   පණිවිඩයක් නිකුත් කරමින් ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ,” නිකලස් මදුරොගේ   නීති විරෝධී ආණ්ඩුව යටතේ වෙනිසියුලානු   ජනතාව  පීඩා විඳ ඇත.අද සිට  ජුවාන් ගුඅයිඩො  වෙනිසුවෙලාවේ තාවකාලික ජනාධිපති ලෙස මා පිළිගනු ලැබේ “ යනුවෙනි.  ගුඅයිඩොගේ  ජාතික සභාවට අසල්වාසී රටවල් වන බ්‍රසීලය , කොලොම්බියාව,ආර්ජින්ටිනාව   දැනටමත් සහාය පළ කර ඇත . 

කෙසේ  වෙතත් රුසියාව සහ චීනය මදුරෝ පාලනයට  සහය පළ කරන අතර දෙවැනි පදවි ප්‍රාප්තිය නීත්‍යානුකූල බව ප්‍රකාශ කර ඇත .රුසියානු විදේශ අමාත්යාංශය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ,  විනාශකාරී ප්‍රතිවිපාකවලින්  සමන්විතය අතිධාවනකාරීත්වය සම්බන්ධයෙන් අපි අනතුරු අඟවන බවයි. එසේම චීනය ද ජාතික ස්වෛරීභාවය නිදහස හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනිසුවේලාව ගන්නා උත්සාහයට සහය පළ කරන බව ප්‍රකාශ කළේය.  මීට අමතරව තුර්කිය, ඉරානය ,මෙක්සිකෝව, කියුබාව ආදී රටවල් කිහිපයක් ද  මදුරෝ පාලනයට සහාය පළ කර ඇත .

මේ ඇතිවූ  අර්බුදකාරී තත්ත්වය යටතේ මදුරෝ  විසින් ඇමරිකාව සමඟ ඇති සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට තීරණය කළේය .ඒ අනුව එරට  තුල සිටින සියලුම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්  පැය හැත්තෑ දෙකක් ඇතුළත පිටව යායුතු බවට ඉකුත් දා මධුර විසින් ප්‍රකාශයක් නිකුත් කළේය  .එයට ප්‍රතිචාර ලෙස ඇමරිකානු රාජ්‍ය ඇමරිකානු  මයික් පොම්පයෝ  විසින් ප්‍රකාශ කළේ,  එලෙස  රාජ්‍යතාන්ත්‍රිකයන්  රටින් පිට කිරීමට හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකුල බලයක් නොමැති බවයි .එය කෙසේ වෙතත් ඇමරිකාව  තවදුරටත් ගුඅයිඩො  පාලනය හරහා වෙනිසුලියාව සමග සබඳතා පවත්වා ගනි. මේ  තත්වය තුළ විපක්ෂ  නායක ගුඅයිඩො හට රටින් පිටවීම තහනම් කිරීමටත්, ඔහුගේ බැංකු ගිණුම අත්හිටුවීමට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ද පියවර ගෙන ඇත .

වෙනිසියුලියාවේ පවතින මෙම අර්බුදය තවදුරටත් මේ ආකාරයෙන්ම  පැවතුනහොත් එරට ද වර්තමාන  ලිබියාවක  තත්ත්වයට පත්වනු නොඅනුමානය .ඇමරිකාව හැමවිටම  උත්සාහ කරන්නේ, මැදපෙරදිග කලාපය තමන්ගේ පාලනය යටතේ පවත්වා ගැනීමට ය. නමුත් මදුරෝ පාලනය එයට බාධාවකි. හියුගෝ චාවේස්ගේ  අනුගාමිකයකු වන මදුරෝ  එරට තුළ ඇමරිකන් විරෝධී පාලනයක් ගෙන යයි. මෙය දැනට එරට  පවතින තෙල්  සම්පත සූරාකෑමට බාධා පමුණු වන්නකි .ලිබියාව තුල ගඩාෆි පාලනය පෙරළා දැමිමේ අරමුණ  වූයේ ද එයයි . ඒ ආකාරයට මෙවර වෙනිසුලියාව   තුළ ද  ඇමෙරිකානු ගැති පාලකයෙකු පත් කර තම කොල්ලකාරී   අරමුණු ඉටුකර ගැනීම ඇමරිකාවේ ප්‍රධානම අරමුණයි . ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ කාල සීමාව තුළ බුෂ්  CIA   සංවිධානය සමඟ එක්ව හියුගෝ චාවේස්ගේ පාලනයට එරෙහිව විවිධ අරගල හා කුමන්ත්‍රණ දියත් කරන ලදී.  නමුත් ඒ සියල්ල අසාර්ථක විය. මෑතකාලීනව ඔබාමා  පරිපාලනය ද  විවිධ සම්බාධක පනවමින් වෙනිසුලියාව නතුකර ගැනීමට ක්‍රියා කළහ. නමුත් ඒ  සියලු ප්‍රයත්නයන් ද අසාර්ථක විය. මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇත්තේ  විපක්ෂයට බලය ලබාදීම හරහා ප්‍රබල මදුරෝ  පාලනය බිඳ දැමීමටය.  ඒ හරහා ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය කර  එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා එරටට  පිටත් කර හැරීමට ය .ඉකුත්දා ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙකු ජනාධිපති ට්‍රම්ප්ගෙන්  විමසා සිටියේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වෙනිසුලියාවට  පිටත්කර හරිනවා ද යන්නයි. එයට ප්‍රතිචාර ලෙස ඩොනල් ට්‍රම්ප්  ප්‍රකාශ කර සිටියේ, “ සියලු විකල්ප මේසය උඩ  ඇත” යන්නයි . එහිදී තවත් නිලධාරියෙකු තර්ජනාත්මකව ප්‍රකාශ කර සිටියේ,  මදුරෝගේ  පාලනය විසින් ගුඅයිඩොට  එරෙහිව ක්‍රියා කළ හොත් එරට ආණ්ඩුව දින කිහිපයකට වඩා නොපවතින බවයි. එසේම ඛනිජ තෙල් අපනයනය නතර කිරීමට නාවික බාධාවක්  ඇති  කිරීමට ද ඉදිරියේදී හැකියාවක් පවතින බවට ද ඉඟි කළේය .අනෙක් අතට මදුරෝගේ  පාලනයට චීනය හා රුසියාවේ සහය හිමිවීම ද ඇමෙරිකාව තර්ජනයකි. ඔවුනට අවශ්‍ය මැදපෙරදිග කලාපය තුළ රුසියානු හා  චීන ආධිපත්‍ය දුරස් කරවීම ය . එලෙස කිරීමට මදුරෝගේ  පාලනය බාධාවකි. මේ නිසාම එරට  විපක්ෂ නායක  ගුඅයිඩො  හට සහය පළ කිරීමට ඇමරිකාව කටයුතු කරයි .

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසමින් ඇමරිකාව තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට නිරන්තරයෙන් ම ක්‍රියාකරයි.  මදුරෝගේ   පාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි පවසන ඇමරිකාවට  සෞදි අරාබියේ   මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ   පාලනය හො    ඊජිප්තුවේ  ජෙනරාල් සිස්ගේ ඒකාධිපති පාලනය   පිළිබඳ කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාකිරීම විහිළු සහගත ය.  සැබවින්ම ඇමරිකාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔවුනට අවශ්‍ය වෙනිසුලියාව ද ලිබියාවක්  කරමින් තම අණසක යටතේ පවතින රාජ්‍යයක්  බවට පත් කර ගැනීමටය. ඉන්පසුව හිතුමතයේ තෙල් සම්පත කොල්ල කෑමටය .

පළමු රුසියානු විප්ලවය

     පළමු රුසියානු විප්ලවය


පළමු  රුසියානු විප්ලවය ඇතිවීමට ප්‍රධාන   හේතුවක් වූයේ කාර්මිකරණය නිසා ඇති වූ විරැකියාව .කාර්මීකරණය නිසා  කර්මාන්තශාලා  3000 ක් පමණ වසා දැමූ දැමු අතර කම්කරුවන්     දෙලක්ෂයකට පමණ  තම රැකියා අහිමි විය. බහුතර  ඉඩම් වල අයිතිය ඉඩම් හිමියන් කිහිපදෙනෙකු අතර රැදුන අතර  ගොවියන්ට ඔවුන් මත යැපීමට සිදුවිය. ඔවුන්ගේ ජිවන තත්ත්වය එන්න එන්න අපහසුතාවයන්ට පත් විය.  ඒ අනුව කම්කරුවන් හා ගොවීන් එකට එකතු වී තම දුක් ගැනවිලි පෙත්සමක ලියා එය දෙවන නිකොලස් සාර් අධිරාජයා වෙත භාර දීම සඳහා ගමන් කළේය.ඒ  පූජකවරයෙකු පෙරටු කරගත්  පෙළපාලියකිනි.   ගීතිකා ගායනා කරමින් ගමන් කල  ඔවුහු  පීටර්ස්බර්ග් හී  සිසිර මාළිගාව වෙත ගමන් කළහ.  එලෙස පෙත්සම භාර දීමට පැමිණි  නිරායුධ සාමාන්‍ය ජනතාවට සාර්ගේ  හමුදාව විසින් වෙඩි තබන ලදී.  ඒ වෙඩි ප්‍රහාර හමුවේ සාමාන්‍ය ජනතාව දහස් ගණනක් මිය ගියහ. මේ සිදුවීම 1905 ජනවාරි නම වෙනි ඉරිදා දින සිදු වූ අතර ඉන් පසුව එම සිදුවීම ලේ ඉරිදාව නමින් ප්‍රකට විය.

මේ සිදුවීමත් සමග කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාව සාර් පාලනයට එරෙහිව උද්ඝෝෂණ, සටන් ව්‍යාපාර ගෙන ගියහ. කම්කරුවන් වැඩබිම් වල බලය අල්ලා ගත් අතර, මුහුදු මුහුදේ නවත්වා තිබූ නැව්වලට  ද මේ තත්ත්වය පැතිර ගියේය.  ඒ පොත්යොමිනික්  යුද නැවේ ඇති වූ කැරැල්ලෙන් පසුවයි. මේ සිදුවීම පිළිබඳව පසුව ලෙනින් පවසා තිබුනේ, “ 1905 සිදුවීම මගින් අක්‍රීය රුසියාව විප්ලවකාරී මහජනතාවකින් යුතු සක්‍රීය රුසියාවක් බවට පරිවර්තනය කළ බවයි”. 

මේ උද්වේගකාරී තත්ත්වය මර්දනය කිරීමට සාර් අධිරාජයා විසින් අගමැති සෙර්ගෙයි  ගේ උපදෙස් මත ඔක්තෝම්බර් ප්‍රකාශය නමින් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේය.  ඒ හරහා  ඩූමාවක් පිහිටුවීම (නියෝජිත  මන්ත්‍රි මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තුවක්) ,හා  මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට  යෝජනා විය. මේ යෝජනා ක්‍රියාත්මක කිරිමට Oktyabrist නමින්  අර්ධ වංශවතුන්, ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ලිබරල්වාදී පක්ෂයක් බිහිකළේය.  මේ පක්ෂයට  ඩුමාවේ එනම් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනයක් හිමි විය .

උද්ඝෝෂකයන් මෙම ප්‍රතිසංස්කරණ වලින් සෑහීමකට පත් නොවූ අතර කැරලි කෝලහාල සහ විප්ලව ව්‍යාපාරය දිගටම පවත්වා ගෙන ගියේය.  මොස්කව්, ඌරල්හි, ලැටිවියාව ආදී ප්‍රදේශවල  ආයුධ සන්නද්ධ ගැටුම් පවා ඇති විය . ආණ්ඩුව විසින් ඒවා තම බලය යොදා නිර්දය ලෙස මර්දනය කරන ලදී. බොල්ෂේවික්වාදීන් විසින් මේ සටන්වල  නායකත්වය ගත් අතර, මේ කාලය තුළදී විදේශ ගතවී සිටි ලෙනින් පවා නැවත සිය රටට පැමිණියේය.  බොල්ෂේවික් පක්ෂයට රුසියානුවන් බහුතරයකගේ සහාය හිමි විය .
සාර්  අධිරාජ්‍යවාදය විසින් මේ කැරැල්ල කෲර ලෙස  මර්ධනය කරන ලදී.  ඉන් අනතුරුව බොල්ෂෙවික්වාදීන්ට එරෙහිව ද විශාල මර්දනකාරී ව්‍යාපාරයක් රැගෙන ගියේය. එහි ප්‍රධානින් ගණනාවක් අත්අඩංගුවට ගත් අතර එහි නායක ලෙනින් නැවත විදේශ ගත විය. මේ තත්ත්වය යටතේ පක්ෂයට  සංවිධානාත්මකව පසු පසුබැසීමට  සිදු විය.  ඒ අනුව 1907 වන විට විප්ලවයේ මුළුමනින්ම පරාජයට පත් කරන්නට සාර් පරිපාලනයට හැකිවිය .

පලමු විප්ලවය මේ ආකාරයට අසාර්ථක වුවද එය සාර්ථක විප්ලවයකට මාර්ගය විවර කළේය. කම්කරු පන්තියේ නායකත්වයෙන් ජනතා ව්‍යාපාර හා එක්ව මේ නැගිටීම සිදු වූ අතර ඒ ඒකාධිපති සාර් පාලනයෙන්  ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ය.  මෙය සාර් පාලනයට එරෙහිව එල්ල වූ පළමු ප්‍රහාරය වූ අතර එමගින්  ඔහුගේ අධිරාජ්‍යවාදී පාලනය දුර්වල විය. මෙම පළමු විප්ලවය පිළිබඳ ව පසුකාලීනව ලෙනින්  ප්‍රකාශ කර සිටියේ, “ 1905 විප්ලවයේ වැනි අත්දැකීම්වලින්   පාඩම් ඉගෙන නො ගත්තේ නම් ධනේශ්වරයන්ගේ  පෙබරවාරි  විප්ලවයත්, නිර්දන පන්තියේ   ඔක්තෝබර් විප්ලවයත් යන දෙකම අසාර්ථක වන්නට ඉඩ තිබුණු බව.

මානව හිමිකම්

මානව අයිතිවාසිකම් 



මානව අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමට  මත්තෙන් අයිතිවාසිකම් යනු මොනවාදැයි  සලකා බැලීම වැදගත් වේ. අයිතිවාසිකම් යනු  නීතිමය  සංකල්පයකි. එයට  අනුව සෑම අයිතිවාසිකමක් සමඟම  යුතුකමක් බැදී පවතී.  එය සාමාන්‍ය මූලධර්මයයි.
උදාහරණයක් ලෙස රියදුරු බලපත්‍රය ඇත්තේ නම් වාහන පැදවීමේ අයිතියක් ඇත. නමුත් ඔහුට පදිකයන්ගේ   ජීවිත විනාශ නොකිරීමට යුතුකමක් ඇත .
 අයිතිවාසිකම් හා යුතුකම් එකම කාසියක දෙපැත්ත වැනිය . අයිතිවාසිකම් සුරක්ෂිත වීමට නම් තමා ප්‍රථමයෙන් තම  යුතුකම් ඉටුකළ යුතුයි. අයිතිවාසිකම් හා යුතුකම් අත්පත් කරගත හැකි,   ක්‍රියාවකින් හෝ සිදුවීමකින් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතී .එසේම අයිතිවාසිකමක් තවත් කෙනෙකුට පැවරීමට ද හැකිය .ඉවත් කිරීමට මෙන් ම අහෝසි කිරීමේ ද හැකියාව පවතී.
නමුත් මානව අයිතිවාසිකම් සාමාන්‍ය අයිතිවාසිකම් වලින් වෙනස් වේ . මානව හිමිකම් යම් ක්‍රියාවකින් අත්පත් කරගැනීමට, පැවරීමට ඉවත් කිරීමට හෝ අහෝසි කිරීමට නොහැකිය.එය මනුෂ්‍යයකු  වීම නිසාම මනුෂ්‍යයකු හට හිමිවන සුවිශේෂී වරප්‍රසාදයකි . මානව හිමිකම් නීතියට අනුව  ඊට අනුරූපව යුතුකම පැවරෙන්නේ රාජ්‍යයට හෝ ඒ රාජ්‍ය අධිකාරී ආයතනයන්ට  විනා පුද්ගලයන්ට නොවේ .

මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ වන ප්‍රධාන මූලිකාංග තුනකි .

එනම් මානව හිමිකම් කිසිදු වෙනස් කිරීමකින් තොරව යෙදවිය යුතුය.
මානව හිමිකම් සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍ය මූලික සිද්ධාන්තයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුය.
එසේම එම අයිතීන් මධ්‍යස්ථ ස්වාධීන ආයතන ලවා ඉටුකරවා ගත යුතුය.
 උදාහරණයක් ලෙස අපරාධ නඩුවක චූදිතයකු බවට පත්වන  පුද්ගලයකුට අසාධාරණයක් වන අයුරින් ඔහුට විරුද්ධව පුවත්පත් ප්‍රචාරයක් සිදු කිරීමට අයිතියක් නොමැත .
අවසාන වශයෙන් මානව හිමිකම් කඩකිරීම  සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිකර්ම ඇති අතර එවැනි ප්‍රතිකර්ම සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමට රාජ්‍යයට කිසිදු අයිතියක් නැත .

ඒ අනුව බලන විට මානව හිමිකම් යනු ,
1.මානව හිමිකම් විශ්ව සාධාරණ වේ.එනම් ජාති කුල ආගම් භේදයකින් තොරව මනුෂ්‍යයකු වීම නිසාම සියලු දෙනාට ම උරුම වේ.
2.මානව හිමිකම් පැවරිය නොහැකි ය .අන්‍ය අයිතිවාසිකම් මෙන් මානව හිමිකම් අපගේ කැමැත්තෙන් වුව ද තව කෙනෙකුට පැවරීමේ හැකියාවක් නොමැත .
3.මානව හිමිකම් නොබෙදිය හැකි බව. එමගින් කියවෙන්නේ තෝරා ගත්  ඇතැම් අයිතිවාසිකම් පමණක් මිනිසුන්ට හිමි නොවිය යුතු බවය. එසේම  ඇතැම් අයිතිවාසිකම් හිමි නොවීම ප්‍රශ්නයක් නොවිය හැකි බවත් නො වේ .සාමාන්‍යයෙන් මානව අයිතිවාසිකම් සිවිල් හා දේශපාලන අයිතීන් හා  ආර්ථික, සමාජ, සංස්කෘතික අයිතීන් ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකියි.මේ දෙපාර්ශවයේම අයිතිවාසිකම් මිනිසුන්ට හිමිවිය යුතු අත,ර එක කොටසක් හෝ ඉවත් කිරීමට හෝ කඩ කිරීමට නොහැකිය.
4.මානව හිමිකම් එකිනෙක මත රඳා පවතී. මේ සියලුම අයිතිවාසිකම් ගරුත්වයකින් යුතුව මනුෂ්‍ය ජීවිතයක් ගත ගතකිරීම සඳහා  මිනිසාට එක සේ වැදගත් වේ. මේ  නිසා කිසිදු ආකාරයකින් මානව හිමිකම් කාණ්ඩ ගත කොට වෙන් කළ නොහැකිය.

 මේ අනුව සරළව මානව හිමිකම් යනු සාමාන්‍ය අයිතිවාසිකම් වලින් වෙනස් වන්නා වූ, සමස්ත මනුෂ්‍ය ප්‍රජාව වෙත ම මනුෂ්‍යයන් වීම නිසාම  සහජයෙන් උරුම වන, කිසිම නීතියකින් කඩ කළ නොහැකි, රාජ්‍යයන් වෙත යුතුකම් හා නීතිමය බැඳීම් පවරන්නා වූ සුවිශේෂී නීති පද්ධතියක් වන්නේ ය.
 
අතීතයේදී මානව හිමිකම් නිදහස මත පදනම්ව  ගොඩ නැගී ඇති අතර  එහි ප්‍රධාන ධර්මතා දෙකක් විය. එනම් හඳුනා ගැනීම සහ ගෞරව කිරීම. මිනිසුන්  විද්‍යාත්මකව හා  සමාජ විද්‍යාත්මකව එකිනෙකාට වෙනස් වේ.  නිදහස උපරිමයෙන් ලැබීමට නම් අප ප්‍රථමයෙන්ම අනෙකාට ගරු  කිරීමට පුරුදු විය යුතුය.


මානව හිමිකම් යනු නවීන සංකල්පයක් නොවන අතර මනුෂ්‍ය සංහතිය ආරම්භයත් සමගම ක්‍රමයෙන් මෙය විකාශනය විය. වර්තමානය වන විට මානව හිමිකම් සංකල්පය පුළුල් ලෙස ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත .

ඊළඟ කොටසින් අපි මානව හිමිකම් පිළිබඳ ඓතිහාසික විකාශය වෙන වෙනම අධ්‍යයනය කරමු.


ඇමරිකාව ජනාවාසකරණය වීම

ඇමරිකාවට යුරෝපීයන්ගේ  පැමිණීම.



යුරෝපීය ජාතිකයන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීමට පෙර එරට රතු ඉන්දියානු ස්වදේශික ජනතාව වාසය කරන ලදී .ඇමරිකාව පිළිබඳ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ යුරෝපීයයන් විසින් එරට  ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුවය .  නමුත් එලෙස ජනාවාස පිහිටුවීමට පෙර පටන් මායා, ඇස්ටෙක් වැනි ශිෂ්ටාචාර එරට පැවැති බවට  සාධක හමු වී ඇත.
මීට වසර 30000ට හෝ 50000කට පෙර ආසියාවෙන් සහ යුරෝපයෙන් සංක්‍රමණය වූ මනුෂ්‍ය එලෙස  පදිංචි වන්නට ඇති බව විශ්වාස කරයි. මුල් කාලීනව දඩයම් ජීවිතයකට හුරු වී සිටි ඔවුන් ක්‍රමානුකූලව කෘෂිකර්මාන්තයට   යොමු වී ඇත . පූර්ව  ඇමරිකානු සමාජය තුළ  ප්‍රධාන ශිෂ්ඨාචාර තුනක් හඳුනාගත හැකිය.එනම් මායා, ඇස්ටෙක් සහ ඉන්කා යනුවෙනි.

ඇමරිකාවට යුරෝපයක් ගේ පැමිණීම ආරම්භ වන්නේ  1490  කොලොම්බස් ගේ ආගමනයත් සමගය. එය ද අහම්බෙන් සිදු වූ සොයාගැනීමකි. අමෙරිකාවට ගොඩබැස්ස  කොලම්බස්  විශ්වාස කළේ, මේ ඉන්දියාව වන බවයි.  ඔහුට අවශ්‍ය වූයේ ඉන්දියාවට යන නාවික ගමනාන්තයක් සොයා ගැනීමයි . ඇමරිකානු  ලිඛිත ඉතිහාසය ගොඩ නැගෙන්නේ එළෙස යුරෝපියන් පැමිණ ජනාවාස පිහිටු වීමෙන් පසුවයි .එය ඇමරිකාව ජනාවාසකරණය කළ දෙවන අවස්ථාව ලෙස හඳුනාගත හැකියි. පළමු අවස්ථා බවට පත් වන්නේ අයිස් යුගයේ දී ආසියාවෙන් සිදුවු  සංක්‍රමණයයි  .

 යුරෝපීයන් දේශ ගවේෂණයට යොමු වූ හේතු කිහිපයකි.   මධ්‍යතන යුගයේ පැවති රජු හා රදලයන්ගේ අරගලය අවසන් වී ජාතික රාජ්‍ය බිහිවන්නට විය. ජාතික රාජ්‍යයන්ට තම බලය වර්ධනය කර ගැනීමේ දැඩි තරගයක් පැවතුණි. එහි  එක් අංගයක් වූයේ නව රාජ්‍යයන් සොයා ගැනීමයි. යුරෝපීය ජාතිකයන් පෙර පටන් ම අපරදිග භාණ්ඩ කුළුබඩු,කුරුදු , මැණික් වැනි භාණ්ඩ වෙත හුරු වී සිටියේය. නමුත් එහි වෙළෙඳ ඒකාධිකාරිය පැවැත්වුණේ ඉතාලි ජාතිකයන් සතුවය.  ඔවුන් අධික මිලට යුරෝපය පුරා ආසියානු භාණ්ඩ අලෙවි කළේය. ඒ අනුව යුරෝපීයයන්ට  පෙරදිගට යෑමට නව මාර්ග සෙවීමේ අවශ්‍යතාවයක් ඇතිවිය. පෘතුගාලය මූලික කරගෙන නාවික වෙළෙඳ පන්තියක් බිහි වූ අතර ඔවුන් නාවික ගමන් වලට අවශ්‍ය පහසුකම් සැපයීය.  එහි ප්‍රධානියා වූයේ නාවික හෙන්රි රජුය. ඉන් අනතුරුව අනෙකුත් යුරෝපීය රටවල් ද නාවික තරගයට අවතීර්ණ වෙමින් පෙරදිග එන නාවික ගමනාන්තයන් සෙවීමට උත්සුක වීය.  එහි ප්‍රතිඵලයක් ලෙස  ප්‍රතිඵලයක් ලෙස 1997 දී ඇමෙරිගො  වෙස්පුසි විසින් ඇමරිකාව සොයා ගන්නා ලදී .

ඉංග්‍රීසින් ඇමරිකාවට පැමිණෙන්නේ ජෝන් කැබට් ගේ ගේ මූලිකත්වයෙනි .බ්‍රිතාන්‍යය ජාතිකයන් 1497දී ඇමරිකාවට පැමිණියත් එහි ජනාවාස පිහිටුවා ගන්නේ  පළවෙනි එලිසබත් රැජිනගේ කාලයේදීය.මුල් කාලීනව මිනිස්සුන්  යුරෝපයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූයේ, මැණික් රත්තරන් ආදී ඛනිජ ලවණ සෙවීමේ අරමුණෙනි.නමුත් පසුකාලීනව යුරෝපය තුල  ජනගහනය ඉහළයාම සහ ඔවුන්ට සාපේක්ෂව රැකියා අවස්ථාවක් නොමැතිවීම නිසා, නව ජනාවාස පිහිටුවීම කෙරෙහි ද  අවධානය යොමු විය. ඒ සඳහා පෞද්ගලික අංශය විසින් මුදල් ආයෝජනය කරන ලදී.  ඒ අනුව බ්‍රිතාන්‍ය විසින් පිහිටුවන ලද කොලනි ප්‍රධාන කොටස් දෙකකට හඳුනාගත හැකිය.  එනම් ශ්‍රේණිගත ජනපද (සමාගම් විසින් පාලනය කිරීම) හා  හිමිකාර ජනපද ( පුද්ගලයන් විසින් පාලනය කිරීම) . පළමු ජනාවාසය  පිහිට වූයේ 1587 රැලේ  වෝල්ටර්  ගේ මූලිකත්වයෙනි.  නමුත් එය අසාර්ථක විය. මුල්ම සාර්ථක ජනාවාස වූයේ වර්ජිනියාහි ජේම්ස් ටවුන් හිදීය.   ඒ 1607  වසරේදීය.නමුත් එයද  දුෂ්කරතා රාශියක්  මත පිහිටුවන ලදී . ලෙඩ රෝග සහ ආහාර හිඟකම මත බොහෝ පිරිසක් මිය ගියේ ය.  මේ හේතුව නිසා ම බ්‍රිතාන්‍යයන් ඇමරිකාවට සංක්‍රමණය වීම ක්‍රමයෙන් අඩු විය.  ඒ අනුව එඩ්වඩ්  සැන්ඩි විසින් උපක්‍රමයක් යොදමින්  ජනපදයට බ්‍රිතාන්‍යයන් පැමිණෙන්නේ නම් ඔවුන්ට අක්කර 50 ක් ලබාදීමටත්,  ඔවුන් තවත් සේවකයින් රැගෙන එන්නේ නම් ඊට අමතරව තවත් අක්කර 50ක් නොමිලේ ලබා දීමටත් පොරොන්දු විය.  ඒ අනුව  අවුරුදු හයක් ඇතුළත පන්දාහක් පමණ පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වී තිබුණි.

එලෙස පැමිණි සංක්‍රමණිකයන් විසින් ඇමරිකාව තුල ජනාවාස 13 ක් පිහිටුවා ගන්නා ලදී.  මීළඟ කොටසින් අපි එලෙස පිහිටුවාගන්නා ලද  ජනාවාස එකින් එක සාකච්චා කරමු.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ

  

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ
 


ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආකාර දෙකකට ක්‍රියාත්මක වේ.
1. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය
2. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය


ග්‍රීසියේ ‘ඇතෑන්ස්’ පෞර රාජ්‍යයේ පාලන කටයුතු ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන සිදු වූ බවට සඳහන් වේ. මෙහිදී පෞර රාජ්‍යයේ පැවති පුරවැසි සභාව තුළ රාජ්‍ය පාලන කටයුතු සම්බන්ධයෙන් පුරවැසියන්ගේ කැමැත්ත ඍජුවම විමසීමකට ලක් කර ඇත.

නමුත් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. වර්තමානයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ප්‍රයෝගික ගැටලු හේතුවෙන් මහජනයා වෙනුවෙන් තෝරා ගන්නා නියෝජිතයන් මගින් රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. මෙය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ.

වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ලක්ෂණ පහත පරිදි විග්‍රහ කළ හැකිය.


1. සර්ව ජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයින් තෝරා ගැනීම

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක පාලනය සඳහා නියෝජිතයන් තෝරා ගනු ලබන්නේ සර්ව ජන ඡන්ද බලය පදනම් කරගෙනය. නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ පුරවැසියන්ටය කිසිදු භේදයකින් (ජනවර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය, රැකියාව, කුලය) තොරව හිමි වන ඡන්ද බලය සර්ව ජන ඡන්ද බලය ලෙස හැඳින්වේ.










2. තරඟකාරී පක්ෂ ක්‍රමය
දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවතීම ප්‍රජාත්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය අංගයකි. රටක පාලනය සඳහා සකස් කර ගනු ලැබූ ප්‍රතිපත්ති මාලාවක් පදනම් කරගෙන පාලන බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව සංවිධානය වූ පුද්ගල කණ්ඩායමක් දේශපාලන පක්ෂයක් ලෙස සරලව හැඳින්විය හැක. මහජනතාවට තමන් කැමති දේශපාලන පක්ෂයක් තෝරා ගැනීමට අවස්ථාව සැලසේ.


3. ඡන්ද කොට්ඨාස ක්‍රමය
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ජනතා නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට උපයෝගී කර ගන්නා උපාය මාර්ගයක් ලෙස රට ඡන්ද කොට්ඨාසවලට බෙදා වෙන් කිරීම වැදගත්වේ. මෙහිදී වර්තමානයේ දී බහුල ලෙස සරල බහුතර නියෝජන ක්‍රමය හා සමානුපාතික නියෝජන ක්‍රමය යොදා ගනී. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කිරීම සිදු කරනු ලබන්නේ මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණ කොමිෂන් සභාව මගිනි. ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කිරීම සඳහා භූමිය හා ජනගහනය යන සාධක යොදා ගනී. ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කි.


4. නිදහස් හා සාධාරණ මැතිවරණ
මැතිවරණ මඟින් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණයකි. එමෙන්ම මැතිවරණ, පාලන කටයුතු සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමේ අවස්ථාවක් ලෙස ද වැදගත් වේ.

ඡන්දදායකයන්ට නිදහසේ තමන් කැමති දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය ලබා දීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතුය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක දැකිය හැකි ලක්ෂණ :

නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීම
නියමිත සුදුසුකම් සපුරා ඇති පුරවැසියන්ට ඡන්ද දායකත්වය / ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය තහවුරු වී තිබීම
මැතිවරණ නීති රීතීවලට අනුකූලව මැතිවරණ පැවැත්වීම
සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්වීම


5. ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම
පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයකදී නියමිත බහුතර නියෝජිතයින් සංඛ්‍යාවක් තේරී පත් වූ පක්ෂය හෝ පක්ෂවල එකතුවෙන් ආණ්ඩු පක්ෂය සකස් වේ. පාලන කටයුතු මෙහෙයවීම ආණ්ඩු පක්ෂයේ කාර්යභාරය වේ. මැතිවරණයකදී ආණ්ඩු පක්ෂයට වඩා අඩු නියෝජිත සංඛ්‍යාවක් තේරී පත් වූ පක්ෂය හෝ පක්ෂ විරුද්ධ පක්ෂය වේ.


6. නිදහස, සමානාත්මතාවය හා අයිතිවාසිකම්
තම දේශපාලන, ආර්ථික හා සමාජීය අවශ්‍යතා ඉටු කර ගැනීමට පුද්ගලයාට සමාජයේ ලැබෙන ඉඩකඩ ‘නිදහස’ ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙම නිදහස භුක්තිවිඳිය හැක්කේ නීතිමය සීමාවන්ට යටත්වය.

සෑම පුද්ගලයෙකුටම සම අවස්ථා ලබාදීම සමානාත්මතාවයයි. කිසිදු වෙනස්කමකට භාජනය නොකර අයිතිවාසිකම් හා නිදහස සමානව භුක්තිවිඳීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ පුද්ගලයාට අවස්ථාව සැලසේ.

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම
රටක මූලික නීතිය හෙවත් උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ රටේ පාලන කටයුතු සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවත්වා ගැනීමේදී පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වේ. එමෙන්ම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වන අතර නීතියේ රැකවරණය සැමට සමානව හිමි වේ.

8. මාධ්‍ය නිදහස හා තොරතුරු ලබා ගැනීමේ අයිතිය
රටක ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමටත්, තොරතුරු දැනගැනීමටත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත සමාජයක හිමි වන්නේ ජනමාධ්‍ය හරහාය. මහජන මතය ගොඩනැඟීම සඳහා බලපාන ප්‍රබල සාධකයක් වන්නේ ද ජනමාධ්‍යයයි. යහපාලනයක් සඳහා අතවශ්‍ය අංගයක් ලෙස ද ‘මාධ්‍ය නිදහස’ හඳුනාගෙන තිබේ.


9. අධිකරණයේ ස්වාධීනත්වය
අධිකරණයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ යුක්තිය පිසිඳලීමයි. අධිකරණය ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ හෝ වෙනත් බලපෑම්වලින් තොර ස්වාධීන ආයතනයක් ලෙස පැවතීම අත්‍යවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහිත සමස්ත අධිකරණය ස්වාධීනව පැවතීම තුළින් පුරවැසියන්ට සමානව යුක්තිය හා සාධාරණත්වය ඉටු වේ.


10. නීතියේ ආධිපත්‍යය හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය
රටක සියල්ලටම ඉහලින් නීතිය පවතී. එය නීතියේ ආධිපත්‍යයයි. රටක සියලුදෙනාම නීතියට ගරු කළ යුතුය. නීතිය ක්‍රියාත්මකවීමේදී පාලකයන්ට මෙන්ම පාලිතයන්ට ද සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුය. නීතිය ඉදිරියේ කිසිදු පුද්ගලයකු විශ්‍ෂෙකරණයකට ලක් නොවිය යුතු වේ.




ඉහත ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දැකිය හැකි මූලික ලක්ෂණ විග්‍රහ කළ හැකි වේ.

උපුටා ගන්නා ලදී . (Www.myschool.lk)

ප්‍රජාතන්ත්‍රවාදය යනු...

ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද?


“ප්‍රජාව” යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් කිසි ප්‍රදේශයක, රටක, සමාජයක ජීවත් වන ජනතාවය. “තන්ත්‍රය” යනුවෙන් අදහස් කරනුයේ පාලන ක්‍රමයයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් අනුමත කර පවත්වාගෙන යනු ලබන පාලන ක්‍රමයකි. ප්‍රජාතන්ත්‍රවාදය ඉංග්‍රීසි බසින් හදුන්වනු ලබන්නේ Democracy යනුවෙනි. මෙය පැරණි ග්‍රීකයන් විසින් ජනතාව හැදින්වීමට යෙදූ“ඩිමෝස්” යන වචනයෙන් බිදී ආ එකකි.
ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුක්‍රමයක් මෙන්ම දර්ශනයක්ද වේ.
                                                        ජේ.ආර්.ලවල්
මිනිසා උප්පත්තියේ සිට  මරණය දක්වා සමාන අයිතිවාසිකම් උරුම කොට ඇත.
                                                               මිනිස් අයිතිවාසිකම් පිළිබද ප්‍රකාශනය 1789
ඔබ අත ඇති සරටිය කරකවමින් ඔබට ගමන් කළ හැකිය. නමුත් එහි කෙළවර අනෙක් පුද්ගලයාගේ නාසය අගින් කෙළවර විය යුතුය.
                                 ජෝර්ජ් වොෂින්ටන්
මහජනයා විසින් මහජනයා උදෙසා මහජනයාටම කරනු ලබන පාලන ක්‍රමයකි.
                                                                                එබ්‍රහම් ලින්කන්
සියළුදෙනාටම අයිතිවාසිකම් හිමිවන ආණ්ඩුක්‍රමයකි.
                                                     සීලර්
රාජ්‍ය යනු භාරකාර මණ්ඩලයක් වන අතර එය වැසියාගේ යහපත පිණිස කටයුතු කළ යුත්තේය. නීතිය අභිබවා කටයුතු කරන පාලකයන් නෙරපා හැරීමේ බලය සමාජයට හිමිවිය යුත්තේය.
                                                                                        ජෝන් ‍ලොක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආරම්භය ගැන සලකා බැලීමේදී ග්‍රීසියෙන් එවැනි පාලන ක්‍රමයක් පිළිබද තොරතුරු දැක්වේ. ඒ පෞර නම් රාජ්‍ය ආශ්‍රයෙනි. පෞර රාජ්‍ය යනු භූගෝලීය ලක්ෂණ අනුව ප්‍රදේශ වෙන් කර ගනිමින් ගෝත්‍රික ජනතාව විසින් තම ගෝත්‍රික ජනයා පාලනය කළ කුඩා පාලන ඒකකයක්ය. ඔවුන් තම ගෝත්‍රයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇත. පසු කලෙක මෙවැනි ගෝත්‍ර පාලනය පෞර රාජ්‍ය නමින් හදුන්වනු ලැබ ඇත. ඇතෑන්ස්, ස්පාර්ටා, කොරින්ත්, තීබ්ස් මේ අතරින් ඉතා ශක්තිමත් පාලනයක් ගෙන ගිය අතර අන් රාජ්‍යන්ට වඩා මේවායේ විශාලත්වය ද වැඩිය. මේ කාලය තුළ සුලභව දක්නට ලැබුණු දෙයක් නම් දුර්වල, දුබල පෞර රාජ්‍යන් ප්‍රබල පෞර රාජ්‍යන් විසින් ආක්‍රමණය කර තම රාජ්‍යට ඈදා ගැනීමයි.
මෙම පෞර රාජ්‍යන් අතර යම් යම් සමාන තාවයන්ද දක්නට ලැබුණි. එනම් එකම දෙවි කෙනෙක් ඇදහීම, එකම භාශාවක් කථා කිරීම ආදී සමාන තාවයන්ගෙන් යුක්ත විය. මොවුන් වසර හතරකට වතාවක් පෞර රාජ්‍යන් අතර ඔලිම්පික් තරගයක් පවත්වා ඇත. මේ සදහා සෑම පෞර රාජ්‍යකින්ම තරගකරුවන් ඉදිරිපත් කිරීම සිරිතක් ලෙස සලකනු ලැබීය. මෙම තරගය පැවැත්වීමේ දී මොවුන්ගේ සහයෝගය, එකමුතු බව ආදිය කැපී පෙනෙන ලක්ෂණ විය. එසේම තරග ජයග්‍රහනයට වඩා සහභාගීත්වය අගය කිරීම ද කැපී පෙනුනි.

මෙම පෞර රාජ්‍යන් තුළ දක්නට ලැබුණේ රාජාණ්ඩු පාලන ක්‍රමයකි. මේ නිසා සෑම නීතියක්ම ප්‍රභූ වරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම පිනිස සකස් වී තිබුණි. එහෙයින් සාමාන්‍ය ජනයාට එයිනි සෙතක් සැලසුනේ නැත. එම නිසා බොහෝ අවස්ථා වලදී සාමාන්‍ය ජනතාව මෙන්ම වහලුන්ද කැරළි ගැසීමට පෙළඹුනහ. මේ හේතුව නිසා ඇතැම් රාජ්‍යන් කැරලි මර්ධනය කිරීම සදා යුධමය පුහුණුව ලැබූ අතර එම රාජ්‍ය යුධ ශක්තියෙන් බලවත් වූ රාජ්‍යන් බවට පත් විය. තවත් රාජ්‍යන් මීට හාත්පසින්ම වෙනස් වූ පැතිකඩයන්ට යොමු වීමක් දක්නට ලැබුණි. එනම්, සාහිත්‍ය, චිත්‍ර, කලා, විද්‍යා, දාර්ශනික යන අංශයන්ගෙන් දියුණු වී ඉදිරියට එනු ලැබීය. ඇතෑන්ස් පෞර රාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටු වීමට පුරෝගාමී වූ පුද්ගලයින් තිදෙනෙකු හදුනාගත හැකිය. එනම්, ඩ්‍රැකෝ, සො‍ලෝන්, ස්ලෙයිතීනස් ය.
ක්‍රි.පූ. 621 දී ඩ්‍රැකෝ යන ප්‍රභූවරයා ප්‍රථම වරට ලිඛිත නීති පද්ධතියක් ඇතෑන් පෞර රාජ්‍යයට හදුන්වා දෙනු ලැබූහ. ආරම්භයේදී මෙම නීති ඉතා දැඩි, දරුණු ස්වාභාවයක් ගෙන ඇත. එසේම මෙම ලිඛිත නීති පද්ධතිය හේතු කර ගනිමින් වංක විනිශ්චයකාර වරුන්ගෙන් ගැලවීමට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබුණි. නමුත් එකළ විසූ සාමාන්‍ය ගොවි ජනතාවට එයින් වාසියක් නොවීය.

ඇතෑන්ස්හි ප්‍රජාතන්ත්‍රවාද ස්තාපිත කිරීමට සහය වූ පුද්ගලයෙක් ලෙස සොලෝන් හැදින්විය හැකිය. මෙතුමා වහල් මෙහෙයෙන් පුද්ගලයන් නිදහස් කෙරුණු අතර ණය ගනුදෙනු සදහා පුද්ගලයන් වහල් සේවයේ යොදා ගැනීම තහනම් කිරීමේ නීතියක් පනවනු ලරබීය. මේ නිසි ඉතා දුක්ඛිත තත්වයෙන් දිවි ගෙවූ බොහෝ ජනතාවට සහනයක් ලගා විය. එසේම සොලෝන් විසින් වෙළද සමාජය ශක්තිමත් කිරීම උදෙසා කාසි භාවිතා කිරීමේ ක්‍රමයක් හදුන්වා දෙනු ලැබීය.මෙම පාලකයා සමාජ සුභසාධනය උදෙසා මහත් වූ කැපවීමක් සිදු කරන ලදී. ඒ සදහා තම දරුවන්ට දෙමාපියන් විසින් කුමන හෝ ජීවනොපායක්‍රමයක් හුරු පුරුදු කළ යතුය එනම් ජීවනොපාය වෘර්තියක් ඉගැන්වීම අනිවාර්ය කරනු ලැබීය. මෙසේ කටයුතු කිරීම නිසා දරුවන් වහල් සේවයේ යෙදවීම නතර වී ගියහ.

වංශවත් පවුලකින් පැවත ආ ස්ලෙයිස්තීනස් ජනතාවට ඡන්ද බලය ලබා දීමට පුරෝගාමීව කටයුතු කළ ප්‍රථම පුද්ගලයාය. මෙම රාජ්‍යන්වල සියළු කටයුතු මෙහෙයවන ලද්දේ ඉඩම් හිමි ප්‍රභූ පාලකයන් විසිනි. මෙම පාලකයන් ජනතාවට ඉතා කෲර ලෙස සලකනු ලැබීය. පෞර රාජ්‍යන් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමේ ආරම්භය ඇතෑන්ස් පෞර රාජ්‍යන්ගෙන් ආරම්භ වී ඇත.

 

උපුටා ගන්නා ලදී ..(www.myschool.lk)

Balance of power (බලතුලනය )

බලතල බෙදීමේ සිද්ධාන්තය 


බල තුලනය යනු ජාත්‍යන්තර සබඳතා හි භාවිතා වන ප්‍රධාන සංකල්පයකි.  මෙය දීර්ඝකාලිනව පිළිගැනුණු ප්‍රාථමික මූලධර්මයකි.  ලෝකය පුරා බලය සමාන ලෙස බෙදා හැරීම මගින් ජාත්‍යන්තර පද්ධතිය  සාමකාමී ව පවත්වා ගැනීමට හැකි බව මෙම  සංකල්පයේ  ප්‍රධාන හරයයි.

සංකල්පයක් ලෙස බල තුලන ජාත්‍යන්තර සබඳතා තුල භාවිතා වූයේ 1618- 1648 දක්වා පැවති තිස් අවුරුදු යුද්ධයෙන් පසුවයි. එනම් වෙස්ට්ප්‍රේලියානු  සාම ගිවිසුමෙන් පසුවය.නමුත් ඊට පෙර පටන් ම මේ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී ඇත. ග්‍රික  පවුර රාජ්‍ය තුළ ද මේ සංකල්පය භාවිතා වී ඇති, අතර පසුව රෝම යුගයේ දී යම් පමණකින් යටපත් වී ඇත. නමුත් නැවතත් ඉතාලි පුනරුදයෙන් පසුව මෙය සංකල්පයක් ලෙස ව්‍යාප්ත වී ඇත.

පළමුව මෙය සංකල්පයක් ලෙස සවිස්තරාත්මකව ඉදිරිපත් කළේ ප්‍රංශ ජාතික බර්නාඩෝ රුසෙලින්‍ ය. ඉන්පසුව කුමාරයා ග්‍රන්ථය තුළින් නිකොලායි මැකියාවේලි ද මේ අදහස තවදුරටත් වර්ධනය කළේය.

මේ සම්බන්ධයෙන් විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර ඒ නිසාම මේ සම්බන්ධව පොදු එකඟතාවයක් නොමැත.

මෝගන්තෝට  අනුව බල තුලනය යනු, ජාතීන් කිහිපයක් අතර බොහෝ දුරට සමානතාවයකින් යුතුව බලය විස්තීරණ කිරීමෙන් උද්ගත වන්නාවූ යථාර්ථයකි.  

මාර්ටින් රිටට අනුව බල තුලනය යනු, ව්‍යවස්ථා නීතියේ එන බාධක හා තුලනයන් ජාත්‍යන්තර නීතියට අනුකූලව යොදා ගැනීමකි.එනම් එක් බලයක් වැළැක්වීමට තවත් බලයක් අවශ්‍ය වේ ය යන්න මෙහි සරල අදහසයි.

මෝගන්තෝ  විසින් බලතුලනය  සිව් වැදෑරුම් ආකාරයකින් විස්තර කරයි.

 පළමුව බලය විස්තීරණ කිරීම අරමුණු කොටගත් කොටගත් ප්‍රතිපත්තියක් ලෙස
 දෙවනුව ජාත්‍යන්තර දේශපාලනය තුළ පවතින යථා තත්ත්වය පිළිබඳ තත්වය පිළිබඳ විස්තරයක් ලෙස
තෙවනුව බලය සමානුපාතිකව බෙදා ගැනීම පිළිබඳ විස්තරයක් ලෙස
 අවසාන වශයෙන් ජාත්‍යන්තර දේශපාලනයේ සිදුවන බලය  විස්තීරණ කිරීම විස්තර කරන වචනයක් ලෙස ,යනාදී වශයෙනි.

අර්නස්ට් බී හාස්ට  අනුව බලතුලනයේ අටවැදෑරුම් අර්ථයක් පවතී.  එනම්

1.බලය විසුරුවා හැරහැරීම
 2.බල සමබරතාවය
3. බලයේ ආධිපත්‍යය
4.ස්ථාවරත්වය
5. අස්ථාවරත්වය
6. බල දේශපාලන
 7.බලය විශ්ව නීතියකී
8. බලය  ප්‍රතිපත්ති සම්පාදනයට මාර්ගෝපදේශකයකි.

බලතුලනයේ  ප්‍රධාන ප්‍රභේද දෙකකි. එනම්

 සරල බල තුලනය( ජාතීන් හෝ කණ්ඩායම් දෙකක් අතර සිදු වන බලය බෙදීම) හා
  බහුවිධ බල තුලනය බල තුලනය ( විවිධ ජාතීන් හා විවිධ කණ්ඩායම් අතර සිදුවන බලය බෙදීම )

මෝර්ටන් කප්ලාන්  විසින් බලතුලන විධි  හයක් ඉදිරිපත් කර  ඇත.

1.බහුවිධ බල තුලනය-  රාජ්‍යයන් ගණනාවක් අතර බලය සමාන ලෙස බෙදී යාම.  ( ප්‍රබල රාජ්‍යයන්)
2.ද්විවිධ මෘදු බල තුලනය-  රාජ්‍යයන් දෙකක් අතර මෘදු  ආකාරයෙන් බලය බෙදීයාම. එම රාජ්‍ය දෙකට අමතරව තවත් සංවිධාන ද පැවැතිය හැකිය.
3.ද්විවිධ දෘඩ බල තුලනය-  ප්‍රබල රාජ්‍යයන් දෙකක් අතර දෘඩ ලෙස බලය බෙදීයාම. එම රාජ දෙකට අමතරව  වෙනත් අභියෝග කළ හැකි   බලකඳවුරු නැත.
4.ධූරාවලි බලතුලන - බලය වැදගත්කම අනුව පෙලගස්වා ධූරාවලියක් යටතේ සිදුවන බල තුලනය. බලතුලනය බලය වැඩි රාජ්‍ය සිට බලය අඩු රාජ්‍ය දක්වා ධුරාවලියක් ලෙස සකස් වේ.
5.විශ්ව බල තුලනය-  යම් ජාත්‍යන්තර සංවිධානයක් යටතේ  සියලු රාජ්‍යයන් පාලනය වීම.
6.ඒකක නිශේධ බල තුලනය- උපකල්පිත   බලතුලන අවස්ථාවකි. සෑම ඒකකයක්ම අනිත් ඒකක විනාශ කිරීමට හැකි නිසා සියල්ලෝ සියල්ලන්ට බයෙන්  ඇති කරගන්නා බල තුලනයයි.

මේ ආකාරයට බලය සමබර කිරීමට යොදා ගන්නා උපක්‍රම 6ක් ද හඳුනා ගත හැකිය .

1.සන්ධාන හා ප්‍රති විරෝධී සංවිධාන
2. හානිපූර්ණය
 3.අවි දැරීම හෝ නිරායුදකරණය
4. මැදිහත්වීම සහ මැදිහත් නොවීම
5 අවරෝධක රාජ්‍ය
6. බෙදා පාලනය කිරීම

සංකල්පයක් ලෙස බල තුලනය පිළිබඳ කතා කළ ද බොහෝ විට බලවත් රාජ්‍යයන් තමාගේ බලය සෙසු රාජ්‍යයන් සමඟ තුලනය කරගැනීමට  ප්‍රියතාවයක් නොදක්වයි .බොහෝ විට යම් රාජ්‍යයක් බලතුලනය ගැන උනන්දුවන්නේ නම් එලෙස උනන්දු වන්නේ  තමාගේ වාසියට පමණි.මන්ද යත් සියලු රාජ්‍යයන් නිරන්තරයෙන් උත්සහ නිරන්තරයෙන්  තමන්ගේ බලය  වර්ධනය කරගැනීම කෙරෙහි ය. ඒ නිසා සංකල්පයක් ලෙස මෙය  පැවැතිය ද ප්‍රායෝගිකව මෙහි  ක්‍රියාත්මක භාවය පිළිබඳව  ගැටුම්කාරී තත්වයක් පවතී. ඒ කෙසේ වෙතත් ලෝක සාමය ඇති කිරීම කෙරෙහි බල තුලනය යනු   වඩා හොඳ   විසඳුමකි.


පරිශිලන ග්‍රන්ථ = ජාත්‍යන්තර සබඳතා ප්‍රවේශය -ඩබ්ලිව් එම් කරුණාදාස.