Thursday, 14 February 2019

චිලී කෲර පාලකයා

     ඔගස්ටෝ පිනෝච් 


1973/9/11 දින චිලී රාජ්‍යයට අදුරුතම දිනයක් විය. 9/11 සිදුවීම ලෙස ප්‍රකට වූ මෙදින එතෙක් චිලී රාජ්‍ය බලය හෙබවූ ජනාධිපති සැල්වදෝර් අයන්දේ  බලයෙන් පහ කර ඔගස්ටෝ පිනෝච්  බලයට පත් විය. මෙහිදී ඔගස්ටෝ පිනෝචේ පාලනයට යටත් වීමට අකමැති වූ ජනපති සැල්වදෝර් වෙඩි තබාගෙන සියදිවි  නසා ගත්තේ ය. නමුත් එය සිය දිවි හානිකර ගැනීමක් ද නැතහොත් මරණයට පත් කිරීමක් ද යන්න පිළිබඳව ද ඇත්තේ දැඩි සැකයකි. මන්ද යත් ඔහුගේ මරණය පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීමයි. එනිසාම මෑතකාලීනව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සැල්වදෝර්ගේ  මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න යැයි නියෝග කර ඇත.
ඔගස්ටෝ පිනෝෂේගේ  මෙකී හමුදා කුමන්ත්‍රනයට ඇමරිකානු CIA සංවිධානයේ සහය ලැබී ඇති බවට හෙළි වී ඇත. එකල ඇමරිකන් ජනාධිපති වු රිචඩ් නික්සන්ගේ හා ඔහුගේ ආරක්ෂක උපදේශක හෙන්රි කිසින්ජර්ගේ සහයද ඔගස්ටෝ ගේ හමුදා කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීමට ලැබී ඇත.  ඇමරිකාවට අවශ්‍ය වූයේ එතෙක් පැවති සැල්වදෝර් ගේ  සමාජවාදී පාලනය පෙරලා දමා තමන්ට හිතවත් පාලකයෙකු පත් කර ඔහු යටතේ එරටට ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමය.
   ඒ අනුව හඳුන්වා දුන්  ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර දරිද්‍රතාවය ද වැඩි විය. පාන් රාත්තලක මිල එස්කුඩොස් 11 සිට 40 දක්වා වැඩි විය. එය  246% ක වර්ධනයකි. රටේ උද්ධමනය ඉහළ යාම නතර කර ගනු වස් ජනතාවගේ වැටුප් අඩු කරන්නට ද ක්‍රියා කළේය.  ප්‍රතිඔගස්ටෝ ගේ මෙම ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව අන්ත දරිද්‍රතාවයට පත්වීය. එරට ජනගහනයෙන් 85% ක්ම දිළිදුකමේ රේඛාවෙන් පහළ මට්ටමට වැටුනි.

ස්වභාවයෙන්ම  කෲර පාලකයෙකු වු ඔගස්ටෝ  තම විරුද්ධවාදීන් අත්අඩංගුවට ගෙන දරුණු වදහිංසාවන්ට පමුණුවන ලදී. එලෙස අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර ශිෂ්‍යයන් පූජකයින් ,විනිසුරුවරුන් ,මාධ්‍යවේදීන් මෙන්ම විදේශිකයන් ද සිටියේය. එලෙස  අත්අඩංගුවට ගන්නා ලද  70000 ක් පමණ වූ පිරිසෙන් 30000 ක් පමණ ඉතා දරුණු වධ හිංසාවලට ලක්කර ඇති අතර එයින්ද  3500ක් පමණ කෲර ලෙස මරා දමා ඇත. චිලී හි සුප්‍රකට ගායකයකු වූ වික්ටර් හාරා ද එලෙස මරණයට පත් වුවන් අතර වේ.
මොහුගේ දුර්දාන්ත පාලනය වසර 18 ක් පුරාවට පැවති අතර 1990 දී ප්‍රැට්රිකො ඇල්වින්  බලයට පත්විය.ඒ  පැවති ජනමත විචාරයෙන්  ඔගස්ටෝ පිනෝචේ පරාජයට පත්වීමෙන් පසුවයි. එහිදී ඔගස්ටෝ ගේ පාලනයට විරුද්ධව  56% ක ඡන්දයක් ඇල්වින්හට  හිමි විය.  නමුත් ඔහු තව දුරටත් හමුදාපති ලෙස 1998 දක්වා සේවය කළේය.
1998 දී ඔහු  ශල්‍යකර්මයක් සඳහා ලන්ඩන් නුවරට ගිය අතර එහිදී ඔහුව හිර අඩස්සියට ලක් කළේය .2002 දී ඔහුව නැවත වෛද්‍ය ප්‍රතිකාර උදෙසා නිදහස් කළ අතර එහිදී ඔහු පෙරළා මවුබිමට පැමිණියේය. 2002 දී මානව හිමිකම් උල්ලංඝණ  පිළිබඳ චිලී  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කළ අතර, ඒ නඩුව යන අතරතුර දී, එනම් 2006 දී ඔහු  හෘදයාබාධයකින් මරණයට පත් විය .අවසානයේදී ඔහු අධිකරණයෙන්  කිසිදු දඩුවමක්  නොලබා ම මරණයට පත්වීය.

No comments:

Post a Comment