මානව අයිතිවාසිකම්
මානව අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමට මත්තෙන් අයිතිවාසිකම් යනු මොනවාදැයි සලකා බැලීම වැදගත් වේ. අයිතිවාසිකම් යනු නීතිමය සංකල්පයකි. එයට අනුව සෑම අයිතිවාසිකමක් සමඟම යුතුකමක් බැදී පවතී. එය සාමාන්‍ය මූලධර්මයයි.
උදාහරණයක් ලෙස රියදුරු බලපත්‍රය ඇත්තේ නම් වාහන පැදවීමේ අයිතියක් ඇත. නමුත් ඔහුට පදිකයන්ගේ ජීවිත විනාශ නොකිරීමට යුතුකමක් ඇත .
අයිතිවාසිකම් හා යුතුකම් එකම කාසියක දෙපැත්ත වැනිය . අයිතිවාසිකම් සුරක්ෂිත වීමට නම් තමා ප්‍රථමයෙන් තම යුතුකම් ඉටුකළ යුතුයි. අයිතිවාසිකම් හා යුතුකම් අත්පත් කරගත හැකි, ක්‍රියාවකින් හෝ සිදුවීමකින් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතී .එසේම අයිතිවාසිකමක් තවත් කෙනෙකුට පැවරීමට ද හැකිය .ඉවත් කිරීමට මෙන් ම අහෝසි කිරීමේ ද හැකියාව පවතී.
නමුත් මානව අයිතිවාසිකම් සාමාන්‍ය අයිතිවාසිකම් වලින් වෙනස් වේ . මානව හිමිකම් යම් ක්‍රියාවකින් අත්පත් කරගැනීමට, පැවරීමට ඉවත් කිරීමට හෝ අහෝසි කිරීමට නොහැකිය.එය මනුෂ්‍යයකු වීම නිසාම මනුෂ්‍යයකු හට හිමිවන සුවිශේෂී වරප්‍රසාදයකි . මානව හිමිකම් නීතියට අනුව ඊට අනුරූපව යුතුකම පැවරෙන්නේ රාජ්‍යයට හෝ ඒ රාජ්‍ය අධිකාරී ආයතනයන්ට විනා පුද්ගලයන්ට නොවේ .
මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ වන ප්‍රධාන මූලිකාංග තුනකි .
එනම් මානව හිමිකම් කිසිදු වෙනස් කිරීමකින් තොරව යෙදවිය යුතුය.
මානව හිමිකම් සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍ය මූලික සිද්ධාන්තයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුය.
එසේම එම අයිතීන් මධ්‍යස්ථ ස්වාධීන ආයතන ලවා ඉටුකරවා ගත යුතුය.
උදාහරණයක් ලෙස අපරාධ නඩුවක චූදිතයකු බවට පත්වන පුද්ගලයකුට අසාධාරණයක් වන අයුරින් ඔහුට විරුද්ධව පුවත්පත් ප්‍රචාරයක් සිදු කිරීමට අයිතියක් නොමැත .
අවසාන වශයෙන් මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිකර්ම ඇති අතර එවැනි ප්‍රතිකර්ම සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමට රාජ්‍යයට කිසිදු අයිතියක් නැත .
ඒ අනුව බලන විට මානව හිමිකම් යනු ,
1.මානව හිමිකම් විශ්ව සාධාරණ වේ.එනම් ජාති කුල ආගම් භේදයකින් තොරව මනුෂ්‍යයකු වීම නිසාම සියලු දෙනාට ම උරුම වේ.
2.මානව හිමිකම් පැවරිය නොහැකි ය .අන්‍ය අයිතිවාසිකම් මෙන් මානව හිමිකම් අපගේ කැමැත්තෙන් වුව ද තව කෙනෙකුට පැවරීමේ හැකියාවක් නොමැත .
3.මානව හිමිකම් නොබෙදිය හැකි බව. එමගින් කියවෙන්නේ තෝරා ගත් ඇතැම් අයිතිවාසිකම් පමණක් මිනිසුන්ට හිමි නොවිය යුතු බවය. එසේම ඇතැම් අයිතිවාසිකම් හිමි නොවීම ප්‍රශ්නයක් නොවිය හැකි බවත් නො වේ .සාමාන්‍යයෙන් මානව අයිතිවාසිකම් සිවිල් හා දේශපාලන අයිතීන් හා ආර්ථික, සමාජ, සංස්කෘතික අයිතීන් ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකියි.මේ දෙපාර්ශවයේම අයිතිවාසිකම් මිනිසුන්ට හිමිවිය යුතු අත,ර එක කොටසක් හෝ ඉවත් කිරීමට හෝ කඩ කිරීමට නොහැකිය.
4.මානව හිමිකම් එකිනෙක මත රඳා පවතී. මේ සියලුම අයිතිවාසිකම් ගරුත්වයකින් යුතුව මනුෂ්‍ය ජීවිතයක් ගත ගතකිරීම සඳහා මිනිසාට එක සේ වැදගත් වේ. මේ නිසා කිසිදු ආකාරයකින් මානව හිමිකම් කාණ්ඩ ගත කොට වෙන් කළ නොහැකිය.
මේ අනුව සරළව මානව හිමිකම් යනු සාමාන්‍ය අයිතිවාසිකම් වලින් වෙනස් වන්නා වූ, සමස්ත මනුෂ්‍ය ප්‍රජාව වෙත ම මනුෂ්‍යයන් වීම නිසාම සහජයෙන් උරුම වන, කිසිම නීතියකින් කඩ කළ නොහැකි, රාජ්‍යයන් වෙත යුතුකම් හා නීතිමය බැඳීම් පවරන්නා වූ සුවිශේෂී නීති පද්ධතියක් වන්නේ ය.
අතීතයේදී මානව හිමිකම් නිදහස මත පදනම්ව ගොඩ නැගී ඇති අතර එහි ප්‍රධාන ධර්මතා දෙකක් විය. එනම් හඳුනා ගැනීම සහ ගෞරව කිරීම. මිනිසුන් විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව එකිනෙකාට වෙනස් වේ. නිදහස උපරිමයෙන් ලැබීමට නම් අප ප්‍රථමයෙන්ම අනෙකාට ගරු කිරීමට පුරුදු විය යුතුය.
මානව හිමිකම් යනු නවීන සංකල්පයක් නොවන අතර මනුෂ්‍ය සංහතිය ආරම්භයත් සමගම ක්‍රමයෙන් මෙය විකාශනය විය. වර්තමානය වන විට මානව හිමිකම් සංකල්පය පුළුල් ලෙස ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත .
ඊළඟ කොටසින් අපි මානව හිමිකම් පිළිබඳ ඓතිහාසික විකාශය වෙන වෙනම අධ්‍යයනය කරමු.
No comments:
Post a Comment